27 April 2024
#දේශීය

විදුලි පුටුව, විදේශිය විනිශ්චකරුවන් නැවැත්තුවේ අපියි

එදා කතා කළ ජාත්‍යන්තර යුද අධිකරණය, එදා කතා කළ විදුලි පුටු, එදා කතා කළ විදේශීය විනිශ්චයකාරවරු ඒවා නැවැත්තුවේ වත්මන් ආණ්ඩුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලිප්ටන් වටරවුමේ පෙළපාළි යන උද්ඝෝෂණ කරන අයට කිසිදු අලුත් සටන් පාඨයක් නොමැති බවත් මේ රටේ රණවිරුවන් ජාත්‍යන්තර බලපෑම්වලින් ගලවා ගත්තේත්, ජනතාවට අසීමිත ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මාධ්‍ය නිදහස ලබාදුන්නේද තමන් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ(2) මනම්පිටිය හෙළ බොජුන් හලේ සංවර්ධන කටයුතු විවෘත කරමින් එම උත්සව සභාව අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රට පාවා දෙන්නෙත් නැහැ, රට කඩන්න දෙන්නෙත් නැහැ, රණ විරුවන්ට පැමිණි ජාත්‍යන්තර බලපෑම් සියල්ලෙන් මේ රටේ රණ විරුවන් නිදහස් කරගත්තෙත් මමත් මගේ ආණ්ඩුවත් අපියි යන්නත් ඔවුන්ට අවධාරණය කරන බවයි.

ඊයේ සවස් වරුවේ ලිප්ටන් වටරවුමේ සිට විහාරමහා දේවී උද්‍යානයට පිරිසක් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරමින් යන බව තමා දැනගත්තේ යැයිද ඔවුන්ට අලුත් සටන් පාඨයන් ඇතිදැයි තමා බැලූ බව ද ඔවුන්ගේ සියලු සටන් පාඨ පරණ කසිකබල් සටන් පාඨ යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

එදා කතා කළ ජාත්‍යන්තර යුද අධිකරණය, එදා කතා කළ විදුලි පුටු, එදා කතා කළ විදේශීය විනිශ්චයකාරවරු ඒවා නැවැත්තුවේ අපියි. ඒවාට මුහුණ දෙන්න බැරි නිසයි අවුරුදු දෙකකට කලින් ඡන්දයකට ගියේ. ඒක තමයි ඇත්ත කතාව යනුවෙන්ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එදා අපේ ශ්‍රේෂ්ඨ මාතෘ භූමිය ලෝකයෙන් වෙන්වු බවත්, ජාත්‍යන්තරයෙන් කොන්වු බවත්, එක්සත් ජාතීන්ගේ මහා ලේකම්ගේ සිට ජාත්‍යන්තර සංවිධාන අපිව ප්‍රතික්ෂේප කර තිබුනා යැයිද ජනාධිපතිවරයා කීය. එදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතයාගේ කාර්යාල ඉදිරිපිට කැබිනට් ඇමැතිවරයෙක් උපවාස කරනවිට රටේ රාජ්‍ය නායකයා ගොස් තැඹිලි පොවන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකා ආණ්ඩුව අත්හැරිය බවත්, මානව හිමිකම් මහා කොමසාරිස්වරිය නවනීදන් පිල්ලේ ලංකාවට පැමිණි විට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඇය විවාහ කර ගැනීමට අවශ්‍යයැයි කියු බවත් මහා කොමසාරිස් තුමියට මෙරට දේශපාලනඥයින් ගැන ඒ කතාවෙන් හොඳ තක්සේරුවක් ලැබුනේ යැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2015 ජනවාරි අටට කලින් මේ රටේ ජනතාවට තිබු ප්‍රශ්නවලින් නිදහස් කර බේරා ඇතැයිද, මේ රටේ ඓතිහාසික පරිවර්තනයක් ඇතිකර ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා අද ලෝකයේ සෑම රාජ්‍ය නායකයෙක්ම අපේ මිත්‍රයන් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපි ගැන තිබෙන්නේ ඉතා මිත්‍රශීලි සුහද ස්වභායක් මෙන්ම අද අපට ආධාර ගලා එන බව ද කීය.

අප නිදහස ජනතාවට ලබාදුන්නා සේම ඒ නිදහස භුක්ති විඳීමේ ක්‍රමය පිළිබඳ සමහර අයට තිබුනු මානුෂීය ගුණාංග පෙන්නුම් කරන්න බැරිව ගොස් ඇති බවත්, නිදහස කොතෙක් දුන්නාද කියනවා නම් ජනාධිපතිවරයාට තිත්ත කුණු හරුපයෙන් බනින්න, තිත්ත කුණු හරුපයෙන් ලියන්න, ජනාධිපතිවරයාගේ රෙදි ගලවා පෙන්වන්න සමාජ වෙබ් අඩවි හරහා ඒ දුන්න නිදහස මම ඉටු කරනවා. හැබැයි එහෙම වැරැදි විදියට භුක්ති විඳින අයට මම එකක් කියන්නම් වරද්දගෙන එ්ගොල්ලන්ගේ නිදහසේ රෙදි ගලවා ගන්නා තැනට පත්වෙන්න එපා යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *