27 April 2024
#දේශීය

අසාධාරණ ලෙස සහල් මිළ වැඩි කිරීමට ඉඩ දෙන්නේ නෑ – වෙළෙඳ ඇමැති බන්දුල

කුමන තත්වයක් යටතේ වුවත් මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 105ට අඩුවෙනුත් ,සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ ව පැවසුවේ වෙළෙඳ අමාත්‍යංශයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙම මිළ ගණන් යටතේ සතොස හා සමූපකාර , Q-SHOP ඇතුළු රාජ්‍ය අළෙවි ජාලය මගින් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට හැකි බවද ඇමතිවරයා සඳහන් කළේය.

මේ සඳහා පසුගිය 10 වනදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් හා සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය ලබා දුන් බවද ඇමතිවරයා පැවසීය.

කැකුළු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් හෝ වැඩි ප්‍රමාණයක් බුරුමයෙන් ආනයනය කිරීමට බුරුම රජය සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් එම සහල් තොග ලබන මාසය වනවිට මෙරටට ලැබෙනු ඇතයිද හෙතෙම සඳහන් ‍කළේය.

මෙයට අමතරව පුද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට මුදල් ඇමතිවරයා හා මහ බැංකුව සමග සාකච්ඡා කර ඉඩ ප්‍රස්ථාව සලකා ඇති බවත් , පෞද්ගලික අංශය ආනයනය කරන සහල් දේශිය සහල් සමග කවලම් කිරීම, දේශීය වෙළෙඳ පොළට නිකුත් නොකිරීම පිළීබඳව පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති බැවින් එම කටයුතු වැළැක්වීමට පියවර ගන්නා බවත් පැවසීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් නාඩුු සහ සුපිරි සම්බා සහල් සහ බුරුමයෙන් කැකුළු සහල් ආනයනය කිරීමට සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කර ණයවර ලිපි නිකුත් කරන බවත් සඳහන් කළේය.

කෘතීම ලෙස අසාධාරණ ලෙස සහල් මිළ වැඩි කිරිමේ සැළැස්ම මොනම හේතුවක් නිසාවත් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත් , නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට වඩා වැඩි නොවීමට ඉඩ නොතබන බවත් ,කුමන තත්වයක් යටතේ වුවද මේ වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට අඩුවෙන් තබාගැනීමට පුළුවන් තරම් උත්සාහා කරන බවද සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්වය තුළ ජනතාව මුහුණ දී තිබෙන පීඩනය හමුවේ සහල්, සීනි, පිටි,පරිප්පු,අල, ළූණු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ ස්ථාවර කර පාරිභෝගික ජනතාවට ලබාදීමේ සහනදායී වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.

මේ අතර මුදල් ඇමතිවරයාගේ සහන පැකේජය යටතේ වතුකරයේ ජනතාවට පිටි කිලෝවක් රුපියල් 85 කට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරණ බවද හෙතෙම සදහන් කළේය.

සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 ට වැඩි වන බවට සහල් වෙළෙඳ පොළ මාෆියාව විසින් මතවාදයක් ඇතිකර ඒ මතවාදය ස්ථාපිත කර පාරිභෝගික ජනතාව ඉතා විශාල ලෙස පීඩාවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් එම තත්වය සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් වෙළෙඳ පොළේ සහල් මිළ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට වෙළෙඳ අමාත්‍යවරයාට විශේෂ අවසරයක් ලබා දුන් බවද සඳහන් කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *