ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන නවතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය වන ‘WEAIR’ සිය නිල මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ. ලක්සම්බර්ග් පදනම් කරගත් IOTC ආයෝජන සමාගමේ මූල්‍ය සහ උපායමාර්ගික සහාය ඇතිව දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථික විභවය සහ උපායමාර්ගික පිහිටීම කෙරෙහි ජාත්‍යන්තර ආයෝජකයින් තබා ඇති විශ්වාසය මැනවින් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
WEAIR ගුවන් සේවය මගින් දකුණු ආසියාව, නිරිතදිග ආසියාව, ගිනිකොණදිග ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය පුරා මෙන්ම මැදපෙරදිග හා අප්‍රිකානු කලාපීය ප්‍රධාන ගමනාන්ත සමඟ කොළඹ සෘජුවම සම්බන්ධ කිරීම ප්‍රධාන අරමුණයි. ‘Boeing 737-800’ වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයකින් ප්‍රථම මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී සිය ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. මෙමගින් රටේ අපනයන, ඊ-වාණිජ්‍යය, ඖෂධ සහ විවිධ කර්මාන්තයන්හි සැපයුම් දාමයන් ශක්තිමත් කිරීමට සෘජුවම දායක වනු ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා මෙරට තරුණ ප්‍රජාවට සහ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා උදාවන අතර, නව තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටද අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධානතම සැපයුම් මධ්‍යස්ථානයක් සහ විශ්වාසදායක ද්වාරයක් බවට පත් කිරීමේ රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට මෙම පියවර විශාල පිටුවහලක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















