අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.
පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 201.5ක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බෙගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, ලැබුණු වැසි තත්ත්වයත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ කිහිපයක ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ. වැසි පවතින අවස්ථාවලදී ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වැසි සහිත කාලගුණයට අමතරව උතුර, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැඟෙනහිර, දකුණු සහ මොනරාගල යන ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන මට්ටම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව ද වාර්තා වේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් රියදුරන් ද සැලකිලිමත් විය යුතුය.













