ආක්‍රමණය කරන ලද බටහිර තීරයේ (West Bank) ‘ටැල්’ (Tal) ගම්මානය තුළ පලස්තීන වැසියන්, ඊශ්‍රායල පදිංචිකරුවන් (settlers) සහ ඊශ්‍රායල හමුදාව අතර ඇති වූ දරුණු ගැටුමකින් සහ වෙඩි තැබීමකින් පලස්තීනුවන් සිව්දෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මාස ගණනාවකට පසු එම කලාපයේ සිදුවූ දරුණුතම සිදුවීම මෙයයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පරස්පර ප්‍රකාශ නිකුත් කර ඇත. පලස්තීන වැසියන් පවසන්නේ තම නිවාසවලට ප්‍රහාර එල්ල කළ ඊශ්‍රායල පදිංචිකරුවන්ට එරෙහිව කටයුතු කිරීමේදී පැමිණි ඊශ්‍රායල හමුදාව තමන් වෙත වෙඩි තැබූ බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව (IDF) පවසන්නේ පලස්තීන ප්‍රහාරකයෙකු විසින් ආරක්ෂක භටයෙකුගේ ගිනි අවිය පැහැරගෙන වෙඩි තබා ඔහු ඝාතනය කළ බවත්, පසුව එම ප්‍රහාරකයා විනාශ කළ බවත්ය. සිදුවීමත් සමඟ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති අතර, කලාපයේ ආරක්ෂාව සඳහා අමතර හමුදා බලඇණි යෙදවීමට පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: BBC ඇසුරින්














