ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඇන්ටිගුවාහි පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී, නියමිත කාලය තුළ පන්දුවාර යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩ මුදලක් සහ ප්‍රසාද ලකුණු කපා හැරීමක් සිදු කර තිබේ.
තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා වාර්තා කර ඇත්තේ, කොදෙව් කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර දෙකක් අඩුවෙන් යොමු කර ඇති බවයි. ICC චර්යාධර්ම සංග්‍රහයට අනුව, නියමිත කාලයට වඩා ප්‍රමාද වන සෑම පන්දුවාරයක් සඳහාම ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් සියයට 5 බැගින් දඩ නියම කෙරෙන අතර, ඒ අනුව කොදෙව් කණ්ඩායමට සියයට 10ක දඩයක් පැනවීමට පියවර ගෙන ඇත.
මීට අමතරව, ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොන්දේසි ප්‍රකාරව, නියමිත කාලය තුළ අවසන් නොකරන සෑම පන්දුවාරයක් සඳහාම ප්‍රසාද ලකුණ බැගින් කපා හැරෙන බැවින්, කොදෙව් කණ්ඩායමේ ලකුණු සටහනෙන් ලකුණු දෙකක් කපා හැරීමට ද තීරණය කර තිබේ. කොදෙව් නායක රොස්ටන් චේස් මහතා විසින් අදාළ වරද පිළිගෙන දඬුවමට එකඟත්වය පළ කර ඇති බැවින්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ICCය දැනුම් දී ඇත.
















