සී.බී.එල් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් (CBL Investments Limited) සහ එහි සමාගම් සමූහයේ නව සභාපතිනිය ලෙස ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මිය පත් කර තිබේ. ඇය මෙම ධුරයට පත් වූයේ සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කර අභාවප්‍රාප්ත වූ රම්‍යා සනත් අමරවීර වික්‍රමසිංහ මහතාගෙන් හිස් වූ තනතුර සඳහා වන අතර, එම පත්වීම ජූලි 06 වැනිදා සිට ක්‍රියාත්මක වේ. ඇය මීට පෙර සිටි සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ධුරයට අමතරව නව සභාපතිනිය ලෙස ද කටයුතු කරනු ඇත.
මෙම පත්වීමත් සමඟ, 1968 වසරේදී මෙම ව්‍යාපාරය ආරම්භ කළ නිර්මාතෘ මිනේක වික්‍රමසිංහ මහතාගේ නායකත්ව උරුමය ඉදිරියට ගෙන යනු ඇත. නිර්මාතෘවරයාගේ වැඩිමහල් දියණිය වන ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මිය 1991 වසරේදී සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සමාගමට සම්බන්ධ වූ අතර, 1996 වසරේදී ඇය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් විය. පසුගිය දශක තුනක කාලය තුළ ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු හොබවමින් ඇය සමූහයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය, නිෂ්පාදන නවෝත්පාදන සහ තිරසාර මුලපිරීම් සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබේ.
ආහාර තාක්ෂණවේදිනියක වන ඇය, අමෙරිකා එක්සත් ජනපදයේ පර්ඩියු (Purdue) විශ්වවිද්‍යාලයෙන් ආහාර රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියත්, කැන්සාස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා කර්මාන්ත පිළිබඳ විද්‍යාවේදී උපාධියත් ලබා තිබේ. ඇය ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිනිය ලෙසත්, ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකාවක ලෙසත් කටයුතු කරයි.
CBL සමූහය දැනට රටවල් 70කට වැඩි ප්‍රමාණයකට තම නිෂ්පාදන අපනයනය කරන අතර ශ්‍රී ලංකාව, ඝානාව සහ ඉන්දුනීසියාව යන රටවල නිෂ්පාදනාගාර පවත්වාගෙන යනු ලබයි.














