ලංකාවේ ප්‍රධාන පෙළේ ලොතරැයි දිනුම් ඇදීමේ අවසන් අංක දෙක යොදා ගනිමින් වට්ස්ඇප් (WhatsApp) සමූහ හරහා නීතිවිරෝධී ලෙස ‘කොටු කැපීමේ’ මහා පරිමාණ සූදුවක් සංවිධානය කර පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හතරදෙනකු පදියතලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පදියතලාව කැළේලිඳ වතුයාය, සරණගම සහ කෙහෙල්උල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සතුව තිබී සූදුව සඳහා භාවිත කළ ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මොවුන්ට පොලිස් ඇප හිමි වී ඇත. මෙම නීතිවිරෝධී සූදුව හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ වාහන සහ ඉඩකඩම් උකස් වී සින්න වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරී වී තිබේ.
අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බංඩාර කස්තුරි ආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත පදියතලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ බුද්ධික විදානගමගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.














