27 April 2024
#දේශීය

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධයක් එප්පාවලදී

අසාධාරණ ලෙස ඉහළ නැං වූ විදුලි බිල වහා පහත හෙළන ලෙස බල කරමින් වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් ඊයේ (16) රාත්‍රියේ එප්පාවල ඉහළවැව මංසන්ධියේදී පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ.

ජාතික ජන බලවේගය විසිනි මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි. පන්දම් දල්වමින් විරෝධතාවයේ යෙදුනු පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වූහ.

ජනතාවට විදුලිසැර වද්දමින්, අසාධාරණ ලෙස ඉහළ නැං වූ විදුලි බිල වහා පහත හෙළනු යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ, “ ඉහළවැව අවට ජනතාව මේ එකතු වෙලා කියන්නේ, ආණ්ඩුව පහුගිය කාළයේ දැවැන්ත විදිහට විදුලි බිල වැඩි කරලා තියෙනවා, මාස 03 ක් තුළ තෙවරක් විදුලි බිල වැඩි කරමින්, දැවැන්ත ජීවන බරකින් ඉන්න ජනතාවගේ කරපිටට විදුලි බිලත් දාලා තියෙනවා, ජනතාව ඉතා අමාරුවෙන් ජීවත් වෙන්නේ, ගොවියාගේ ගොවි නිෂ්පාදන වලට හරියට මිලක් නෑ, දරුවන්ට අධ්‍යාපනයක් නෑ, තමන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳගන්න විදිහක් නෑ, පහුගිය ඔක්තොම්බර් මාසයේ විතරක් නිවාස ලක්ෂ 7- 7.5 ක ගේ විදුලිය කපා දාලා තියෙනවා.රුපියල් 3000 ගානේ ගණන් බැලුවොත් කෝටි ගණනක් විදුලි කප්පාදුවෙන් ආණ්ඩුව උපයලා තියෙනවා.අයි.එම්.එෆ් එකේ වුවමනාවට රටේ ජනතාව අමාරුවේ දාලා තියෙනවා. මේ ආණ්ඩුව රටේ ජනතාව පාගන, ජනතාවගේ බෙල්ල මිරිකන පාදඩ ආණ්ඩුවක්, මේ දුක් විඳින ජනතාවට මේ පීඩනය දෙන්න එපා, දැන් රට පුරාම වර්ෂාව ජලාශ පිරිලා ඉතිරිලා යනවා, හැබැයි ජල විදුලිය නිෂ්පාදනය කරලා විදුලි බිල අඩු කරන්න පුළුවන් මොහොතක, ආණ්ඩුව අයි.එම්.එෆ් එකේ වුවමනාවට විදුලි බිල ඉහළ අගයක පවත්වාගෙන යනවා.අපි කියන්නේ මේ විදුලි බිල වහාම අඩු කරන්න, ආණ්ඩුවේ නාස්තිකාර වියදම් අඩු කරලා ජනතාව සහන ලබා දෙන්න කියලා අපි ඉල්ලන්නේ. 2023-24 මහ කන්නය ආරම්භ වෙලා, ස්වභාව ධර්මය විසින් මහ කන්නයට ආශිර්වාද කරමින් රටටම වැස්ස ලැබෙනවා, හැබැයි මේ රටේ විදුලි අමාත්‍යයවරයා විදුලි බිල දරා ගන්න බැරි තත්වයට පත් කරලා තියෙනවා.රටට වගකියන ඇමතිවරයාට අපි කියන්නේ, මේ ගොවිබිම් වල දිවි ගෙවන දුප්පත් අම්මා තාත්තා දිහා බලපල්ලා, පහුගිය 13 වැනිදා අය-වැය ඉදිරිපත් කළා, හැබැයි මේ විදුලි බිල ගැන කථාවක් නෑ, මධ්‍යම කඳුකරයට දැන් වර්ෂාව ලැබෙනවා, පංච මහා ජලාශ පිරිලා තියෙන්නේ, ජල විදුලිය හරහා මේ දැවැන්ත විදුලි බිල අඩු කරන්න පුලුවන්, හැබැයි තාම එහෙම කටයුත්තක් ගැන කථා බහක් නෑ.උඹලාට කරන්න බැරි නම් ගෙදර පලයල්ලා කියන ඉල්ලීම කරන්නයි අපි අද මෙතන්ට ආවේ යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *