ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ධවල මන්දිර (White House) පරිශ්‍රයෙන් පිටතදී ඊයේ වෙඩි තැබීමක් සිදු කිරීමෙන් අනතුරුව, ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති-වෙඩි ප්‍රහාරවලින් මියගිය සන්නද්ධ සැකකරු කවුරුන්දැයි ඇමෙරිකානු රහස් ඔත්තු සේවය (US Secret Service) විසින් මේ වන විට නිල වශයෙන් හඳුනාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙලෙස වෙඩි පහරින් මියගොස් ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන “නසීර් බෙස්ට්” (Nasire Best) නැමැති තරුණයෙකි.
සැකකරුගේ අතීත වාර්තා:
පොලිස් සහ රහස් ඔත්තු සේවා විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොහු මීට පෙර ද 2025 වසරේ ජූලි මාසයේදී ආරක්ෂක වළලු බිඳදමමින් බලහත්කාරයෙන් ධවල මන්දිරය තුළට ඇතුළු වීමට දැඩි උත්සාහයක් දරා තිබූ අයෙකු බවයි. එම අවස්ථාවේදී ද වහාම ක්‍රියාත්මක වූ ඇමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙවර ඔහු කුමන අරමුණකින් ධවල මන්දිරය අසලට පැමිණ වෙඩි තැබීම සිදු කළේ ද යන්න සහ ඔහුට කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක හෝ දේශපාලන සංවිධානයක සහායක් ලැබුණේ ද යන්න සෙවීම සඳහා ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ රහස් ඔත්තු සේවය එක්ව පුළුල් ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර ඇත.














