මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) රෝග සම්ප්‍රේෂණය වීම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට අවම කර, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කර ගත් විශිෂ්ට ප්‍රගතිය අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඊයේ (19) ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්‍රදානය කරනු ලැබීය.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී මෙම ඇගයීම් සහතික පත්‍රය ප්‍රදානය කෙරුණි. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතා අතින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම සහතිකය පිරිනමන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙන ලද ප්‍රමිතීන්ට සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකාව මෙම සෞඛ්‍ය ජයග්‍රහණය අත්කරගෙන තිබේ.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (19) දිනයේදී මෙම 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් විශේෂ දේශනයක් ද සිදුකරනු ලැබීය.












