ලොව පුරා අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් වාර්ෂිකව මිලියන 1.5ක පමණ මිනිස් ජීවිත අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ජුනි 7 වන දිනට යෙදෙන “ලෝක ආහාර සුරක්ෂිතතා දිනය” (World Food Safety Day) නිමිත්තෙන් විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධානය මෙම කරුණු අනාවරණය කළේය.
සෑම වසරකම ලෝක ජනගහනයෙන් මිලියන 866කට අධික පිරිසක් වෛරස්, බැක්ටීරියා, පරපෝෂිතයන් සහ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීම නිසා රෝගාතුර වන බව වාර්තාවේ සඳහන් වේ. මෙම අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් එකිනෙකට වෙනස් රෝග 200ක් පමණ හටගන්නා අතර, එය මිනිසුන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආර්ථිකයට බරපතල බලපෑමක් එල්ල කරයි.
වයස අවුරුදු 5ට අඩු දරුවන් දැඩි අවදානමක පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. අනාරක්ෂිත ආහාර නිසා වැළඳෙන රෝගී තත්ත්වයන්ගෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් වාර්තා වන අතර, සෑම වසරකම දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ හේතුවෙන් මියයයි. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් වර්ධනය වී නොතිබීම සහ මන්දපෝෂණ තත්ත්වයන් නිසා ඔවුන් රෝග කාරකයන්ට පහසුවෙන් ගොදුරු වේ.
ආර්ථික බලපෑම සම්බන්ධයෙන් ගත් කල, අනාරක්ෂිත ආහාර නිසා සිදුවන මිනිස් ශ්‍රම හානිය සහ සෞඛ්‍ය පිරිවැය හේතුවෙන්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 110කට අධික ආර්ථික අලාභයක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තිබේ.
“ආහාර සුරක්ෂිතතාවය යනු සෑම දෙනාගේම වගකීමක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය ආහාර නිෂ්පාදනයේදී සහ ඇසුරුම් කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම, ආහාර පිළියෙළ කිරීමට පෙර සහ පසු දෑත් මෙන්ම උපකරණ හොඳින් සේදීම, බැක්ටීරියා විනාශ කිරීම සඳහා මස්, මාළු වැනි ආහාර නියමිත උෂ්ණත්වයට හොඳින් පිස ගැනීම සහ පිසූ ආහාර සහ අමු ආහාර වෙන් වෙන්ව සහ නිසි ශීතකරණ උෂ්ණත්ව යටතේ ගබඩා කිරීම වැනි නිර්දේශ ඉදිරිපත් කරයි. ආහාර මඟින් වැළඳෙන රෝග වළක්වා ගත හැකි ගැටලුවක් බැවින්, සැපයුම් දාමයේ සිට නිවසේ කුස්සිය දක්වා පිරිසිදුකම සහ ප්‍රමිතිය රැකගැනීමට සැවොම කටයුතු කළ යුතු බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
















