ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට සහ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීමට අදාළ ජාතික වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් සෙනරත් සහ එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
රාජ්‍ය සේවය ‘පුද්ගලයන් මත පදනම් වූ’ සාම්ප්‍රදායික ක්‍රමවේදයේ සිට ‘පද්ධති මත පදනම් වූ’ නවීන ක්‍රමවේදයකට පරිවර්තනය කිරීම මෙහි මූලික අරමුණයි. මෙම ක්‍රියාවලිය තෙවැදෑරුම් සැලැස්මක් (Three-Tiered Plan) යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එහිදී වෘත්තීය මට්ටම් අනුව දැනට සේවයේ නියුතු නිලධාරින් පුහුණු කිරීම, ඩිජිටල් සාක්ෂරතාව සහිත පිරිස් අලුතින් සේවයට බඳවා ගැනීම සහ අනාගත පරපුර වෙනුවෙන් විෂය මාලාවන් ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන සේ සැකසීම සිදු කරනු ඇත.
නිලධාරීන් තුළ පවතින තාක්ෂණික බිය ඉවත් කර ඩිජිටල් කුසලතා පිළිබඳ කැමැත්තක් ඇති කිරීම සහ සයිබර් ප්‍රහාර හා දත්ත අවදානම් වළක්වා ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙහි ප්‍රමුඛ කාර්යයන් වේ. එහි මූලික පියවරක් ලෙස රජයේ නිල විද්‍යුත් තැපෑල (Email) සහ සහයෝගිතා මෙවලම් (Collaboration tools) නිවැරදිව භාවිත කිරීමේ ප්‍රායෝගික පුහුණුව නිලධාරින්ට ලබා දීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන් වන වරුණ ශ්‍රී දනපාල සහ එස්. ආලෝක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
















