තමන් මුහුණ දෙන අධ්‍යයන හා සුභසාධන ගැටලුවලට කඩිනම් විසඳුම් ඉල්ලා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය අද (27) පෙරවරුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.
විශ්වවිද්‍යාලයේ පවත්නා ගැටලු පිළිබඳව සොයා බලා විසඳුම් සෙවීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ වාර්තාව 2025 ජූලි මස 02 වැනිදා අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර ඇති බව සිසුන් පෙන්වා දෙයි. එම වාර්තාව ඉදිරිපත් කර මාස කිහිපයක් ගත වී ඇතත් එහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බවට ඔවුහු චෝදනා කරති.
කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දෛනික අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුභසාධන සේවාවන් බරපතල ලෙස කඩාවැටී ඇති බව ශිෂ්‍ය සංගමය අවධාරණය කරයි. සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබෙන තෙක් විරෝධතාවය අත්නොහරින බව ද සිසුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.














