මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ බන්ධනාගාර නියාමක ඩිලාන් ශ්‍රී අබේවර්ධන මහතාගේ බිරිඳ, කේ. එම්. දිලිනි දේවිකා මහත්මිය දරාගත නොහැකි වේදනාවකින් තම සැමියා පිළිබඳව අදහස් දක්වා තිබේ.
අවසාන මොහොතේ සැමියා තමා සමඟ පැවති දුරකථන සංවාදය සිහිපත් කරමින් ඇය පැවසුවේ, “මට අද ගෙදර එන්න වෙන්නේ නෑ. මීගමුව බන්ධනාගාරයේ ලොකු කලබලයක්. ඒ නිසා මම එහේ යනවා. ෆෝන් එක ඕෆ් කරන්න එපා… මම එහෙට ගිහින් කතා කරන්නම්… කියලා මහත්තයා කිව්වා. ඊට පස්සෙ ආයේ කතා කළේ නෑ. පසුව එම පිරිස අතරේ මගේ මහත්තයා මියගිහින් කියලා මාධ්‍යයෙන් දැනගත්තා” යනුවෙනි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, වැරදි නොකරන නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම අතිශය වේදනාකාරී බවත්, තම දරුවන් දෙදෙනා සමඟ තනිවී ජීවිතයට මුහුණ දීම විශාල අභියෝගයක් වුවත්, සැමියා වෙනුවෙන් එම අභියෝගය තමා භාර ගන්නා බවත්ය.
41 හැවිරිදි වියේ පසු වූ ඩිලාන් ශ්‍රී අබේවර්ධන මහතා වසර 12ක් නාවික හමුදාවේ සේවය කර පසුව වසර 5ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි. මොහු දෙදරු පියෙකු වන අතර, බිරිඳ බණ්ඩාරවෙල පාසලක පුස්තකාල සහායකවරියක ලෙස සේවය කරයි.
මියගිය නිලධාරියාගේ පියා වන රංජිත් අබේවර්ධන මහතා පැවසුවේ, කිසිදු වරදක් නොකළ තම පුත්‍රයා ඝාතනය කිරීම පිළිබඳව තමන් දැඩි ශෝකයට පත්වන බවයි.
මෙම නිලධාරියාගේ අවසන් කටයුතු ඊයේ (10) වත්තේගෙදර පොදු සුසාන භූමියේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණි.
















