විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධතාවක් නැතැයි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු සහ උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි.
මෙම යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ඉල්ලීමක් මත නොව පාර්ලිමේන්තුවෙන් ගෙන එන ලද්දක් වන අතර, මෙම සංශෝධනය රටට හිතකර ද අහිතකර ද යන්න සලකා බලා ඔවුන් නිවැරදි තීන්දුවක් දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය. විශ්‍රාම වයස දීර්ඝ කිරීම හේතුවෙන් කණිෂ්ඨ විනිසුරුවරුන්ට ද තවත් වසර දෙකක් සේවය කිරීමට අවස්ථාව ලැබෙන බැවින් ඔවුන්ගේ උසස්වීම්වලට කිසිදු බාධාවක් සිදු නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නියමිත වයස් සීමාව ඉක්මවා ගියද තවමත් සේවය කළ හැකි දක්ෂ විනිසුරුවරුන් සිටින බවත්, එම සීමාව වයස අවුරුදු 90 දක්වා දීර්ඝ කරන්නේ නම් තමාද යළි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස සේවයට එක්වීමට කැමති බවයි. විනිසුරුවරයකුගේ සේවය වයස 65න් අවසන් නොවිය යුතු බවත්, පළපුරුදු විනිසුරුවරුන්ගේ අත්දැකීම් රටට වැදගත් වන අතරම නඩු කඩිනමින් අවසන් කිරීමට ඔවුන් තවදුරටත් සේවයේ රඳවා ගැනීම වැදගත් බවද විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















