මෙරට උග්‍ර වී ඇති අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සහ වනජීවී ක්ෂේත්‍ර මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නව වාහන ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ අනුව දෙපාර්තමේන්තුව විසින් මිලදී ගන්නා ලද ඩබල් කැබ් රථ 16ක් සහ මෝටර් සයිකල් 181ක් බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා විසින් නිල වශයෙන් සංකේතාත්මකව භාරදෙන ලදී. මෙහිදී සංකේතාත්මක ලෙස ඩබල් කැබ් රථ 16ක් සහ මෝටර් සයිකල් 40ක් වනජීවී අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා වෙත භාරදීමට කටයුතු කෙරිණි.
අලි-මිනිස් ගැටුම් සහ වනජීවී නීති විරෝධී ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල පිහිටි වනජීවී කාර්යාල වෙත මෙම වාහන ප්‍රමුඛතාව මත බෙදාහැරීමට නියමිත අතර, එමගින් නිලධාරීන්ට සිය ක්ෂේත්‍ර රාජකාරි වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට අවස්ථාව හිමිවේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ඩබල් කැබ් 16ක්, සිංගල් කැබ් 84ක්, මෝටර් සයිකල් 181ක්, ට්‍රැක්ටර් 9ක්, අත් ට්‍රැක්ටරයක් සහ ක්‍රූ කැබ් රථ 3ක් ඇතුළුව වාහන 294ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.
දෙපාර්තමේන්තුවේ පවතින මානව සහ භෞතික සම්පත් හිඟයට විසඳුම් දෙමින් අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන ඇත.














