‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 600ක පමණ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය පහසුකමක් අනුමත කර තිබෙනවා.
ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිත අතර, සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට වෙළෙඳපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය යළි ස්ථාපිත කිරීම සඳහා මාර්ග ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන්.
දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ප්‍රමිතීන්ට අනුව මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති අතර, වැඩිදියුණු කළ ජලාපවහන පද්ධති සහ නායයෑම් වැළැක්වීමේ ක්රමවේදද ඊට ඇතුළත්.
මෙම නව මූල්‍ය පහසුකම හරහා දැනට ක්‍රියාත්මක Inclusive Connectivity and Development ව්‍යාපෘතිය තවත් වසර 3කින් දීර්ඝ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා සඳහා ලෝක බැංකුව සිදුකරන සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 610ක් දක්වා ඉහළ යනු ඇති බව සඳහන්.
ව්‍යාපෘතියෙන් පුද්ගලයින් 830,000කට අධික පිරිසකට සෘජු ප්රතිලාභ හිමිවන අතර, දිස්ත්‍රික්ක 8ක මිලියන 2කට ආසන්න පිරිසකට එහි ප්රතිලාභ ලැබෙනු ඇතැයි ලෝක බැංකුව පවසනවා.
මාර්ග ප්‍රතිසංස්කරණ හා නඩත්තු කටයුතු හරහා රැකියා අවස්ථා 5,671ක් පමණ නිර්මාණය කිරීමටද අපේක්ෂා කරන අතර, තේ, එළවළු සහ වී ගොවීන් 22,000කට ආසන්න පිරිසකට ගැනුම්කරුවන් හා සැපයුම් දාම සමඟ යළි සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙනු ඇති බව සඳහන්.
















