ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ දිවයින පුරා සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් 2029 වසර දක්වා ක්‍රියාත්මක වන පරිදි මේ වන විට ආරම්භ කර තිබේ.
ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය (IRDCRP) යටතේ ක්‍රියාත්මක මෙම සමස්ත වැඩසටහන සඳහා රුපියල් මිලියන 5,800කට අධික මුදලක් වෙන් කර ඇත. ඒ යටතේ සාමාන්‍ය සංවර්ධන කටයුතු ලෙස පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්‍රික්කවල වැව් 6ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 256කට වැඩි මුදලක් යොදවා තිබේ. මීට අමතරව, ව්‍යාපෘතියේ හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකය (CERC) යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් දිස්ත්‍රික්ක 18ක වැව් 290ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 5.5කට අධික මුදලක් වෙන් කර ඇති අතර, ඒ අතරට බදුල්ල, රත්නපුර, මන්නාරම, කුරුණෑගල, මහනුවර සහ වවුනියා ඇතුළු දිස්ත්‍රික්ක රැසක් අයත් වේ.
මෙමඟින් වැව්වල ජල රඳවා ගැනීමේ ධාරිතාව ඉහළ නැංවීමත්, දේශගුණික අවදානම් හමුවේ කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ජල සුරක්ෂිතතාව තහවුරු කිරීමත් අපේක්ෂා කෙරේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය සහ ගොවි සංවිධානවල සක්‍රීය සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා ග්‍රාමීය කෘෂිකර්මාන්තය නංවාලීමට සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට දිගුකාලීන ප්‍රතිලාභ සැලසෙනු ඇත.
















