ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර මෙම සාකච්ඡාව පවත්වා තිබේ. කොළඹ කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙනුත්, කෘෂි ව්‍යාපාර, වරාය සහ සැපයුම් සේවා මෙන්ම බලශක්ති යන ක්ෂේත්‍රයන්හි අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටත් අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බව ලෝක බැංකු නියෝජිතයෝ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ. එමෙන්ම, කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ස්වභාවික සෞන්දර්ය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, උතුරු නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙනුත් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී Stephan Massing සහ ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ.














