ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගන්වා තිබේ. “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම” (Transforming Primary Health Care as the Foundation for Healthier Communities in Sri Lanka) යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතා විසින් අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.
පසුගිය අප්‍රේල් මස මෙරට නිල සංචාරයක නිරත වූ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා මෙම වාර්තාව සකස් කර ඇත. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ වර්තමාන තත්ත්වය, පවතින අභියෝග සහ එය ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම වාර්තාව මගින් අනාගත සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වන තාක්ෂණික සහාය සහ මඟපෙන්වීම් විශාල වශයෙන් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














