ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තවමත් දරිද්‍රතාවයෙන් (Poverty) පීඩා විඳින බවත්, මෙරට සමස්ත පවුල්වලින් තුනෙන් එකකට දෛනිකව ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් ලෝක බැංකුව (World Bank) සිය නවතම වාර්තා මඟින් අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියාන් (Gevorg Sargsyan) මහතා පෙන්වා දෙන්නේ, රටේ ‘ආර්ථිකය ස්ථාවර වීම’ සහ ‘ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම’ යනු පැහැදිලිවම එකිනෙකට වෙනස් කරුණු දෙකක් බවයි.
ආර්ථික දර්ශක ස්ථාවර වුවද, එහි සැබෑ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට දෛනිකව දැනෙන මට්ටමට ජීවන තත්ත්වයන් තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බව ඔහු අවධාරණය කළේය. දරුණු ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව මහජනතාවගේ වැටුප් තවමත් ඉහළ ගොස් නොමැති අතර, රැකියා වෙළෙඳපොළ ද සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැත. මෙහි බලපෑම විශේෂයෙන්ම කාන්තාවන්ට දැඩිව දැනෙන බව පෙන්වා දෙන ලෝක බැංකුව, යුක්රේන යුද්ධය සහ මැදපෙරදිග වත්මන් භූ-දේශපාලනික අර්බුදය වැනි ගෝලීය තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමන තවදුරටත් අභියෝගාත්මක වී ඇති බව සඳහන් කරයි.
ඉදිරි දශකය තුළ මෙරට රැකියා වෙළෙඳපොළට තරුණ තරුණියන් ලක්ෂ 10ක් (මිලියනයක්) පමණ අලුතින් එක්වීමට නියමිතව ඇතත්, වත්මන් ආර්ථික වර්ධන වේගය අනුව ඉදිරි වසර 10 තුළ රට තුළ නිර්මාණය කළ හැක්කේ රැකියා ලක්ෂ තුනක් පමණක් බව සර්ග්සියාන් මහතා අනතුරු අඟවයි. ඒ අනුව, ශ්‍රම බලකායට එක්වන තරුණ තරුණියන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුටම විධිමත් රැකියා අවස්ථා (Formal Employment) අහිමි වීමේ බරපතළ අවදානමක් පවතී. මෙරට ශ්‍රම බලකායෙන් 70%ක්ම දැනට නිරතව සිටින්නේ ආරක්ෂාවක් නොමැති අවිධිමත් රැකියාවල (Informal Sector) බවත්, අනෙකුත් සංවර්ධනය වන රටවල් සමඟ සැසඳීමේදී මෙය ඉතා ඉහළ අගයක් බවත් ලෝක බැංකුව පවසයි. මෙම ව්‍යුහාත්මක ගැටලුවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත් තරුණ පරපුර දැඩි සමාජයීය හා ආර්ථික කලකිරීමකට පත්විය හැකි බවට ද හෙතෙම රතු එළි නිකුත් කරයි.
රටක සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ (Labor Market Reforms) සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, මෙවැනි දරිද්‍රතා සහ රැකියා දත්ත ප්‍රකාශයට පත් කිරීම දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අතිශය තීරණාත්මක සාධකයකි. ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය තිරසාර ලෙස ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශයේ සක්‍රීය දායකත්වය සහ ගුණාත්මක රැකියා උත්පාදනය අත්‍යවශ්‍ය වන බවයි. ඒ සඳහා අවශ්‍ය විදේශීය හා දේශීය ආයෝජන (Investments) දිරිගැන්වීමටත්, ගෝලීය වෙළෙඳපොළ සමඟ තරඟ කළ හැකි මට්ටමට දේශීය නිෂ්පාදන හා සේවා ඉහළ නැංවීමටත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම රටේ අනාගත පැවැත්මට මනා පිටිවහලක් වන බව ආර්ථික හා පරිපාලන අංශ සන්කල්පනය කරයි.













