2026 ජගත් පරිසර දින ජාතික සැමරුම් නිල උත්සවය “දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු” යන කාලීන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) කොළඹ අරලියගහ මන්දිරයේදී අභිමානවත්ව පැවැත්වුණා.
සියලු ජීවීන්ගේ පැවැත්ම සහ සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන තිරසර පරිසරයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රධාන දැක්ම වන අතර, රටේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර මනා සමතුලිතතාවක් රැකෙන පරිදි නිරෝගී ජන සමාජයක් බිහිකිරීම උදෙසා සිය පරිසර ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය (PMD) අවධාරණය කළේ. මෙම පරිසර දින සැමරුම් උත්සවයට සමගාමීව මෙරට පරිසර පද්ධතිය තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සුවිශේෂී පියවරක් තැබූ අතර, ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05 රක්ෂිත වනාන්තර (Reserved Forests) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමද ජනාධිපතිවරයාගේ සුරතින් මෙහිදී සිදුවුණා.
















