දුම්වැටි භාවිතය හේතුවෙන් මෙරට ආර්ථිකයට සහ සෞඛ්‍ය පද්ධතියට සිදුවන බරපතළ ව්‍යසනය සංඛ්‍යා ලේඛන සහිතව අනාවරණය වී තිබේ. ඒ අනුව, රජයට දුම්වැටි කර්මාන්තය මඟින් වාර්ෂිකව රුපියල් බිලියන 92.9ක විශාල බදු ආදායමක් ලැබුණද, දුම්වැටි භාවිතය නිසා ජනතාවට වැළඳෙන රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට සහ එමඟින් සිදුවන සමස්ත සමාජ-ආර්ථික හානිය වෙනුවෙන් රජයට රුපියල් බිලියන 214කට අධික දැවැන්ත පිරිවැයක් වැය කිරීමට සිදුව ඇත.
මෙම දත්තයන්ට අනුව පැහැදිලි වන්නේ දුම්වැටිවලින් ලැබෙන බදු ආදායම මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් සෞඛ්‍ය හා වෙනත් පිරිවැය වෙනුවෙන් රටට අහිමි වන බවයි. මේ හේතුවෙන් දුම්වැටි යනු රටට කිසිසේත්ම ලාභදායී හෝ වාසිදායක කර්මාන්තයක් නොවන බවත්, එය රටේ ආර්ථිකය තවදුරටත් ආගාධයට ඇද දමන මාරාන්තික ව්‍යසනයක් පමණක් බවත් ආර්ථික හා සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
















