ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පුතුන් විසින් ආරම්භ කරන ලද ‘World Liberty Financial’ ක්‍රිප්ටෝ ව්‍යාපාරයේ මුල් ආයෝජකයන්ට සිය ආයෝජනවලින් පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් වසර හතරක කාලයක් බලා සිටීමට සිදුවන බව වාර්තා වෙයි. ඊයේ (15) ඉදිරිපත් වූ නව යෝජනාවකට අනුව, ආයෝජකයන් සතු ටෝකන (Tokens) අලෙවි කිරීම වසර දෙකකට සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ඉන්පසු තවත් වසර දෙකක කාලයක් පුරා ඒවා ක්‍රමයෙන් මුදා හැරීමට නියමිතය.
මෙමඟින් මුල් ආයෝජකයන් සතු ටෝකන බිලියන 17 ක ප්‍රමාණය 2030 වසර වන තෙක් සම්පූර්ණයෙන්ම මුදල් කර ගැනීමට නොහැකි වනු ඇත. එය ජනාධිපති ට්‍රම්ප් සිය ධුර කාලය අවසන් කර වසරක් ගතවන තෙක් පවතින සීමාවකි. මෙම ව්‍යාපාරය හරහා ට්‍රම්ප් පවුල මේ වන විටත් ඩොලර් බිලියනයකට අධික ලාභයක් ලබා ඇති බව පැවසෙන අතර, ආයෝජකයන්ගේ අරමුදල් මෙලෙස සීමා කිරීම සහ සමාගමේ පාරදෘශ්‍යභාවය පිළිබඳව ආයෝජකයන් අතර දැඩි කනස්සල්ලක් හටගෙන තිබේ. විශේෂයෙන්ම ‘WLFI’ ටෝකනයක මිල පසුගිය අප්‍රේල් 12 වනදා ඉතිහාසයේ අවම අගය වන ඩොලර් 0.078 දක්වා පහත වැටීම ද මෙම විවේචන දැඩි වීමට හේතු වී ඇත.














