යාපහුව පුරාවිද්‍යා භූමිය පූර්ණ පහසුකම් සහිත විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා විශාල සංරක්ෂණ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමේ නිල වැඩසටහන මෙම මස 16 වැනිදා පෙරවරු 11.00ට යාපහුව පුරාවිද්‍යා භූමියේදී පැවැත්වීමට නියමිත බව අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
යාපහුව පුරාවිද්‍යා භූමිය කාලාන්තරයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් යම් ප්‍රමාණයකට සංරක්ෂණය කර ඇති අතර එය තවදුරටත් විධිමත්ව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නව වැඩපිළිවෙළ යටතේ නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා ප්‍රවේශපත්‍ර කවුළු, රථගාල්, සනීපාරක්ෂක පහසුකම්, තොරතුරු මධ්‍යස්ථාන, වෙළෙඳසැල් සහ නවාතැන් පහසුකම් සහිත හෝටල් පරිශ්‍ර ඇතුළු පහසුකම් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙළ හරහා යාපහුව ප්‍රදේශය දේශීය සහ විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ අමුණයි. ලබන 16 වැනිදා පැවැත්වෙන මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු පුරාවිද්‍යාඥයින් සහ මහජන නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.













