ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානය රැකදෙන ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය පාස්කු ප්‍රහාරය, වසංගත තත්ත්වයන් සහ විවිධ අභියෝග හමුවේ දශකයකට අධික කාලයක් තිස්සේ තාවකාලිකව නතර වී තිබී, අද (29) රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් නැවත වරක් වීථි සංචාරය කිරීමට නියමිතය.
13 වැනි සියවසේ පළමුවන බුවනෙකබාහු රාජ්‍ය සමය දක්වා දිවෙන උත්තම දළදා පූජෝපහාරයේ ඓතිහාසික වැදගත්කම මෙන්ම, පසුගිය කාලය පුරා විවිධ අර්බුද හමුවේ අභාවයට යමින් තිබූ මෙම සංස්කෘතික මංගල්‍යය ජනාධිපති අරමුදලේ, ලොතරැයි මණ්ඩලයේ, වයඹ පළාත් සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ මූල්‍යමය මෙන්ම සංවිධානාත්මක දායකත්වයෙන් යළි පණ ගැන්වීම මෙරට උරුමය සුරැකීම සම්බන්ධයෙන් ගත් සුවිශේෂී පියවරකි. විහාරාධිපති හිමියන්ගේ සහ බස්නායක නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් කප් සිටුවීමේ මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වීමත් සමඟ, මෙරට ප්‍රෞඩ ඉතිහාසයේ සැමරුමක් ලෙස මෙම සංස්කෘතික පුනර්ජීවනය ජාතික මට්ටමින් දැඩි අවධානයට ලක්ව තිබේ.
මෙම පෙරහර නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, නවාතැන් පහසුකම් සහ පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මහව පොලීසිය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රදේශයේ හෝටල් හිමියන් ඒකාබද්ධව කටයුතු කර ඇති අතර, එය කලාපීය සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධයට මෙන්ම ආර්ථික ප්‍රගමනයටද සුවිශේෂී රුකුලක් වනු ඇත. ඉදිරියේදී මෙවැනි ඓතිහාසික සංස්කෘතික උරුමයන් අඛණ්ඩව ආරක්ෂා කරගනිමින් ජාතික තලයේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමටත්, මෙරට අභිමානවත් පුරාණ ඉතිහාසය අනාගත පරපුරට දායාද කිරීමටත් මෙම සංස්කෘතික පුනරුදය මහත් බලවේගයක් වනු නොඅනුමානය.
















