මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
මෙම නඩුව අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, නඩුකරයට සම්බන්ධ කරුණකට අදාළව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එය සැප්තැම්බර් මස 04 වනදා සලකා බැලීමට නියමිතව ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව නැවත සැප්තැම්බර් මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළේය. අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
















