හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති අයථා වත්කම් නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ විභාග කෙරිණි. මෙහිදී යසාරා අබේනායක මහත්මිය ඇතුළු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු සිය සාක්ෂි ලබා දුන්හ.
යසාරා අබේනායක මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමා සහ යෝෂිත රාජපක්ෂ මහතා අතර 2009 සිට 2013 මැද භාගය දක්වා විවාහ වීමේ අදහසින් පැවැති ප්‍රේම සම්බන්ධයක් තිබූ බවයි. එම කාලයේ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ අතර තමා CSN නාළිකාවේ ප්‍රධානියෙකු ලෙස සේවය කළ බවත් ඇය පැවසුවාය. දෙපාර්ශ්වයේ කේන්දර නොගැළපීම හේතුවෙන් එම සම්බන්ධය බිඳ වැටුණු බව ද ඇය සඳහන් කළාය. තම මාමා වන වසන්ත ජයසූරිය මහතාගේ නිවසට ඉදිරිපිට තිබූ ලූෂන් රත්නායක මහතාගේ නිවස මිල දී ගැනීමට යෝෂිත රාජපක්ෂ මහතා උනන්දු වූ බවත්, එම ගනුදෙනුව සඳහා තම මාමා ඔහුව මුණගැස්වූ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
වරලත් ගෘහ නිර්මාණ ශිල්පී රංග දයාසේන මහතා සාක්ෂි දෙමින් පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත අදාළ නිවසේ අභ්‍යන්තර අලංකරණ කටයුතු සිදු කළ බවයි. එය යෝෂිත මහතාගේ මවට අයත් නිවසක් බවත්, විවාහයෙන් පසු එහි පදිංචි වීමට ඔවුන් සැලසුම් කර තිබූ බවත් ඔහුට වැටහී තිබුණි. මෙම සැලසුම්වලදී බුද්ධිමය හෝ ආගමික හැඟීමක් එන ලෙස නිර්මාණ කර තිබූ බව ඔහු ප්‍රකාශ කළේය.
ඉඩමේ පැවැති නිවස විකුණූ ලූෂන් රත්නායක මහතා පවසා සිටියේ තම දරුවන් විදේශගතව සිටීම නිසා ඉඩම විකිණීමට තීරණය කළ බවයි. වසන්ත ජයසූරිය මහතා හරහා ගැනුම්කරුවෙකු හමුවූ අතර, ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ‘ඩේසි ෆොරස්ට්’ යන නම ගැනුම්කරු ලෙස ලේඛනවල තිබූ බව ඔහු පැවසීය.
යසාරා අබේනායක මහත්මියගේ මාමා වන වසන්ත ජයසූරිය මහතා පැවසුවේ, යෝෂිත රාජපක්ෂ මහතා සහ යසාරා අබේනායක මහත්මිය විවාහ වීමට සූදානමින් සිටි බවත්, එම ඉඩම මිල දී ගැනීමට යෝෂිත රාජපක්ෂ මහතා උනන්දු වූ බවත්ය. ආරක්ෂක හේතූන් මත ගැනුම්කරුගේ සැබෑ අනන්‍යතාව විකුණුම්කරුගෙන් වසන් කර තැබීමට සිදු වූ බවත් ඔහු අධිකරණයට ප්‍රකාශ කළේය.
මෙම නඩුව 2012-2013 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 735කට ආසන්න මුදලක් අයථා ලෙස උපයා ගැනීම, මුදල් විශුද්ධිකරණ වරද සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇත. නඩුව යළි ජූලි 17 වන දින කැඳවීමට අධිකරණය නියම කළ අතර, එදින සාක්ෂිකරුවන් 12 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලදී.
















