රුපියල් පන්සිය අනූහය ලක්ෂ හැත්තෑනව දහස් නවසියයකට (රු. 59,679,900) අධික ස්ථාවර තැන්පතුවක් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරමින් ඉදිරියට පවත්වාගෙන යන බව පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අතර, විත්තිකරුවන් දෙදෙනාම අධිකරණයේ පෙනී සිටියහ. ඩේසි ෆොරස්ට් මහත්මිය මීට පෙර වෙනත් නඩුවකින් මුදාහැර තිබීම හේතුවෙන් කුමන්ත්‍රණ චෝදනා යටතේ එක් විත්තිකරුවෙකුට පමණක් නඩු පැවරිය නොහැකි බවට විත්ති පාර්ශ්වය මතු කළ විරෝධතාව අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බැවින්, අදාළ කුමන්ත්‍රණ චෝදනා යටතේම නඩුව ඉදිරියට ගෙන යාමට නීතිමය අවසරය ලැබී ඇති බව රජයේ අධිනීතිඥවරයා පෙන්වා දුන්නේය.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කිරීමට මහාධිකරණය තීරණය කළේය. නඩුවට අදාළව බැංකු ගිණුම් සාරාංශ, කොටස් වෙළෙඳපොළ ආයෝජන විස්තර මෙන්ම රත්මලාන කෙකටිය පෙදෙසේ සහ ඇල්ල නිව් බර්ග් වතුයායේ පිහිටි ඉඩම් හා නිවාස මිලදී ගැනීමට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ ලේඛන 25ක් ද නම් කර ඇත. ප්‍රභූන් සහ උසස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 103 දෙනෙකු රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර, හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ඇතුළු නාවික නිලධාරීන් පස් දෙනෙකු ඒ අතර වේ.














