මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ කැඳවන ලදී. මෙම නඩුවට අදාළව අධිකරණය විසින් නිකුත් කළ සිතාසි මත සාක්ෂිකරුවන් හය දෙනෙකු අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඔවුන් අතරින් යසාරා අබේනායක, වසන්ත ජයසූරිය සහ එඩ්නා ලුෂන් රත්නායක ඇතුළු හතර දෙනෙකු පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දුන්හ.
රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. අද දින සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු නඩුව ලබන ජුලි 17 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළ අතර, එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තවත් සාක්ෂිකරුවන් 13 දෙනෙකුට සිතාසි නිකුත් කරන ලදී. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරු පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
















