මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේදී විභාගයට ගැනිණි.
නඩුව විභාග වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර, යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීය.
පැවති සාක්ෂි විභාගයෙන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය මෙම මස 24 වන දින දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.
දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.













