රටක් සහ සමාජයක් දියුණු වීමට නම් කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍ය බවත්, ඒ සඳහා ඔවුන්ට අවස්ථා තිබෙන බවට විශ්වාසය ගොඩනැඟීම සහ එය යථාර්ථයක් කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
‘Skills for life’ තේමාව යටතේ සිව්වන වරටත් සංවිධානය කරන ‘Sri Lanka Skills Expo 2026’ අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට කොළඹ නගරාධිපති නිල නිවසේදී එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙම අදහස් පළ කළාය.
මෙම ප්‍රදර්ශනය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, කෘෂි ආංශික නිපුණතා සභාව, කර්මාන්ත නිපුණතා සභාව සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව එක්ව සංවිධානය කර ඇති අතර, එය 2026 ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවලදී කොළඹ 07, විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයට, විශේෂයෙන් වෘත්තිය අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් ආයෝජන සිදු කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බවත්ය. වෘත්තිය අධ්‍යාපනය යනු විකල්ප තේරීමක් යන මතය නැති කළ යුතු බවත්, සියලු විෂය ක්ෂේත්‍රයන් රටේ ආර්ථික, සමාජ සංවර්ධනයට සහ පුද්ගලික දියුණුවට සම්බන්ධ වන බවත් ඇය අවධාරණය කළාය. මෙම අවස්ථාවට කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.














