ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්ත සටහනක් තැබූ රටේ වේගවත්ම ධාවන ශූර යුපුන් අබේකෝන් ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් සමුගැනීමේ තීරණය නිවේදනය කර තිබේ.
තම මව්බට රටට කිසිදු ණයක් නැතිව, ලෝකයටම ණයගැතිව තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඔහු සිය හැඟුම්බර නිවේදනයේ සඳහන් කර ඇත. තම ක්‍රීඩා දිවිය පුරා සහයෝගය දැක්වූ පවුලේ සාමාජිකයන්ට, පුහුණුකරුවන්ට, කණ්ඩායමේ සගයන්ට, ශ්‍රී ලංකා යුද හමුදාවට, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට, ඉතාලි පුහුණු කණ්ඩායමට, අනුග්‍රාහකයන්ට සහ මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට ඔහු එහිදී සිය කෘතඥතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කීර්තියක් ගෙන ඒම තම ජීවිතයේ ලැබූ විශිෂ්ටතම ගෞරවය බව පැවසූ ඔහු, තවදුරටත් තරග වැදීමට හැකියාව තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවීම පිළිබඳව තමා තුළ කණගාටුවක් ඇති බවද සඳහන් කළේය. තම තීරණයට හේතු වූ කරුණු සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉදිරි ගමනේදී හෙළි කරන බව යුපුන් අබේකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
















