කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත ඕමාන ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහ දෙරට අතර ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් මස්කට් නුවරදී ඉහළ පෙළේ සාකච්ඡා මාලාවක් පවත්වා තිබේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ CHEC Port City Colombo (Pvt) Ltd ආයතනය, ඕමාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිස, ඕමානයේ විශේෂ ආර්ථික කලාප සහ නිදහස් කලාප සඳහා වන මහජන අධිකාරියේ (OPAZ) සභාපති Qais bin Mohammed Al Yousef සහ Invest Oman හි ප්‍රධාන විධායක නිලධාරී නසාර් අල් කින්ඩි (Nasser Al Kindi) යන මහත්වරුන් සමඟ මෙම සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී දෙරටේ විශේෂ ආර්ථික කලාප අතර සහයෝගීතාව ගොඩනැගීම, දේශසීමා ආයෝජන පහසු කිරීම සහ කලාපීය වශයෙන් ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට ඇති අවස්ථා පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කර ඇත.
















