උත්සව සමය තුළ අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙස බලධාරීන් කළ අනතුරු ඇඟවීම් නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඊයේ (14) දිනයේදී පුද්ගලයන් පස්දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. විශේෂත්වය වන්නේ මෙම මරණ පහම එකම පවුල්වල සහෝදරයන්ට අත්වූ ඛේදවාචකයන් වීමයි.
සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව සේරුනුවර පොලිසිය පවසයි. ඔවුන් මහින්දපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පියා සහ තවත් සහෝදරයෙකු සමඟ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
මේ අතර, හබරාදූව මුහුදු තීරයේ දිය නෑමට ගිය කටුනායක ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ද දියවැලකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇත. විනෝද චාරිකාවක පැමිණ සිටි මෙම සහෝදරයන් දෙදෙනා 21 සහ 26 යන වයස්වල පසුවන්නන්ය. ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.













