රුසියානු කෝටිපති රෝමන් අබ්‍රමොවිච් (Roman Abramovich) තමන් හමුවීම සඳහා යුක්රේනයේ කියෙව් අගනුවරට පැමිණි බවත්, සාම සාකච්ඡා සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය වෙත පණිවුඩයක් රැගෙන යාමට ඔහු එහිදී යෝජනා කළ බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ලන්ඩන් නුවර පැවැති සාකච්ඡාවලට සහභාගී වෙමින් Sky News නාලිකාව වෙත අදහස් දක්වමින් සෙලෙන්ස්කි මේ බව සඳහන් කළ අතර, රුසියානු කෝටිපතිවරයා යුක්රේන අගනුවරට පැමිණි බව ඔහු නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙය වේ.
කෙසේ වෙතත්, තම රජය කිසිසේත්ම දොන්බාස් (Donbas) කලාපය අත්නොහරින බව සෙලෙන්ස්කි එහිදී යළිත් අවධාරණය කර තිබේ. මෙම හමුවීම රහසක් නොවන බවත්, රුසියාවට අවශ්‍යව ඇත්තේ කියෙව් පාලනය කුමන දේ සඳහා සූදානම්ද යන්න දැන ගැනීමට බවත් පැවසූ සෙලෙන්ස්කි, තමන් යුක්රේන භූමියෙන් ඉවත් නොවන බවත් රුසියාවට එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉඩ නොදෙන බවත් අබ්‍රමොවිච් වෙත සෘජුවම ප්‍රකාශ කළ බව වැඩිදුරටත් සඳහන් කළේය.
















