27 April 2024
#දේශීය

අත්අඩංගුවට ගන්න දෙන්න එපා – සම්පායෝ අභියාචනාධිකරණයට යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්. යූ. පී. ඒ. සම්පායෝ විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත.

එහිදී පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයට පත්කර තිබූ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත්, ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවය.

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තමාව අත්අඩංගුවට සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවද පෙත්සම්කරු විසින්  අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර ඇත.

බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට අවශ්‍යතාවයක් මතු වූ විට ඉලෙක්ට්‍රොනික උපකරණ සපයා දීමේ නීතිමය හැකියාවක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා ඒ අනුව ශීතකරණයක් සැකකරුවෙකුට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය දරන වෑයම නිතීයට පටහැනි බවත් සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *