දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැලනිගම අධිවේගී පොලිසිය සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 85ක්, ජාවාරමින් උපයාගත් බවට සැක කරන රුපියල් 1,60,000ක මුදලක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ගැලනිගම අධිවේගී මාර්ග රථ වාහන පොලිසියේ නිලධාරීන් මාතර දෙසට සංචාරයේ යෙදී සිටියදී, 23 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ නවතා තිබූ මෙම මෝටර් රථය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් කලබලයට පත්වීම හේතුවෙන් මෙම වැටලීම සිදු කර තිබේ. එහිදී එක් සැකකරුවෙකුගේ යට ඇඳුමේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය පාර්සල් 6ක් සොයා ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බිංගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 27 වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් දීර්ඝ කාලයක සිට ගාල්ලේ සිට බිංගිරිය දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද මෙම තරුණයන් තිදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර මත් ගතියෙන් සිටි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.













