දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායමට එරෙහිව ඊයේ (21) පැවති IPL තරගයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායමේ ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා ලකුණු 135ක් රැස් කරමින් අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය. මෙය අයි.පී.එල්. ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ පස්වන ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් විය.
පන්දු 68කදී නොදැවී ලකුණු 135ක් ලබාගත් 25 හැවිරිදි අභිෂේක්ගේ ඉනිමට හයේ පහර 10ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වූ අතර, ඔහු සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 47කිනි. ඔහුගේ මෙම දස්කම හමුවේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 195ක් පමණි. පන්දු යැවීමේදී හයිද්‍රාබාද් පිල වෙනුවෙන් මාලිංග (E Malinga) ලකුණු 32කට කඩුලු 4ක් දවා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය. මෙම ජයග්‍රහණයත් සමඟ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ලකුණු 47ක පහසු ජයක් අත්කර ගත්තේය.













