දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කරන ලද රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල, මැයි මස අවසන් වීමට පෙර ප්‍රතිලාභීන්ට ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙහිදී පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් නව නිවසක් ලබා දීම හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට තීරණය විය. එමෙන්ම තවමත් සහන කඳවුරුවල ජීවත් වන ජනතාවට ස්ථිර නිවාස ලැබෙන තෙක් සුදුසු ස්ථානවල තාවකාලිකව පදිංචි කරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. මීට අමතරව නායයෑම් හෝ වෙනත් උපද්‍රව සහිත අධි අවදානම් කලාපවල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම සහ ඔවුන් වෙනුවෙන් නව නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. විශේෂ ගැටලුවක් පවතින අවස්ථාවකදී හැර සෙසු සියලු හිමිකම් මැයි මාසය තුළ නිරවුල් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.













