දිවයිනේ පවතින කාලගුණික තත්ත්වයේ විශේෂ වෙනසක් අප්‍රේල් මස 20 වනදා සිට සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එදින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව අද දිනයේදී ද බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














