ගාසා තීරයේ පීඩාවට පත් පවුල් වෙත පිරිසිදු ජලය බෙදා හැරීම සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ රියදුරන් දෙදෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් මියයාම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. උතුරු ගාසා තීරයේ පිහිටි ජල පිරවුම් මධ්‍යස්ථානයකදී ඊයේ (17) උදෑසන මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
මෙම සිදුවීමත් සමඟ අදාළ ප්‍රදේශයේ සිය සහන සේවා තාවකාලිකව අත්හිටුවීමට යුනිසෙෆ් ආයතනය පියවර ගෙන ඇති අතර, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව මානුෂීය සේවා සපයන්නන් සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආරක්ෂා කළ යුතු බව එම ආයතනය අවධාරණය කරයි. 2025 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසුව ද මෙවැනි ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත තවදුරටත් අනතුරේ පවතින බව වාර්තා වේ.














