පුරස්ථි ග්‍රන්ථි පිළිකා (Prostate Cancer) සඳහා භාවිතා කරන ‘Erleada’ නමැති ඖෂධය මගින් මරණ අවදානම අඩකින් අඩු කරන බවට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම සිදුකරන ප්‍රචාරණයන් වළක්වන ලෙස ඉල්ලා බේයර් (Bayer) සමාගම ඉදිරිපත් කළ ඉල්ලීමක් අමෙරිකානු විනිසුරුවරයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. බේයර් සමාගම චෝදනා කළේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ මෙම ප්‍රචාරණයන් අසත්‍ය බවත්, එමගින් බේයර් සමාගමේ ‘Nubeqa’ නමැති ඖෂධය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වන බවත්ය.
කෙසේ වෙතත්, මැන්හැටන් දිස්ත්‍රික් විනිසුරු ඩේල් හෝ (Dale Ho) ප්‍රකාශ කර ඇත්තේ මෙම චෝදනාවල පදනමක් ඇති බව තහවුරු කිරීමට බේයර් සමාගම අපොහොසත් වී ඇති බවයි. මෙම වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය මගින් බේයර් සමාගමට යථා තත්ත්වයට පත් කළ නොහැකි හානියක් සිදුවන බව පෙන්වා දීමට ද ඔවුන්ට නොහැකි වී තිබේ. මෙම තීන්දුවත් සමඟ ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් මෙම ඖෂධ වෙළඳපොළ තුළ පවතින තරඟකාරීත්වය තවදුරටත් උණුසුම් වී ඇත.














