27 April 2024
#දේශීය

අපේ රට දියුණු විමට නම් දේශීය නිෂ්පාදන පරිභෝජනයට හුරු කල යුතුයි – කර්මාන්ත අමාත්‍ය විමල්

අප අද අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය වන්නේ හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන පරිභෝජනය පුරුදු වීම බවත් එමගින් පමණක් අපට මෙරට නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා පානදුර නගර ශාලාවේ පැවති ‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර maa Product සමාගම නිෂ්පාදනය කරන ලැබූ ‘ගරක් කෝලා’ සහ ‘තල් කෝලා’ පානයන් ජනගත කිරීමේ උත්සව සභාව ආමන්ත්‍රණය කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍යවරයා “maa Product ආයතනය විසින් නිෂ්පාදනය කළ නෙල්ලි කෝලා පානය ජනගත කිරීමේ අවස්ථාවටත් මට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. එමගින් අප දිරිගන්වනු ලැබුවේ, මේ රටේ දේශීය අමුද්‍රව්‍ය පදනම් කරගත්තු ප්‍රණීත පානයකට අපේ තරුණ දූ දරුවන් අතර ප්‍රවණතාවක් ඇති කිරීමයි. ඒ ප්‍රයත්නය සැලකිය යුතු ලෙසින් සාර්ථක කරගෙන අද mas Product ආයතනයේ සභාපති මුදිත සමනක්කොඩි මැතිතුමන්ට හැකි වෙලා තිබෙනවා, තවත් එවැනි පාන වර්ග දෙකක් සමාජයට හඳුන්වා දෙන්න. එමගින් සෞඛ්‍යයට අහිතකර නොවන, සෞඛ්‍යමය වශයෙන් ගුණාත්මක පාන වර්ග දෙකක් වෙළඳපොළට පැමිණෙනවා.

මෙම නව නිෂ්පාදන ජනගත කිරීමට අමතරව ‘maa Product’ ආයතනය ‘ගෞරව උත්තමාචාර ප්‍රණාම උළෙලක්’ ද සංවිධානය කර තිබූ අතර එහිදී ‘කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට ගන්නා පියවරයන් අගයමින්’ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. එසේම ආතර් වී. දියෙස් ශ්‍රීමතාණන් අගයමින් සම්මාන පිදීමක් සිදු වූ අතර එය එතුමන්ගේ මී මුණුපුරු වෛද්‍ය එරංග පතිරණ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර, ප්‍රවීණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පී ලයනල් පීරිස්, ප්‍රවීණ නිර්මාණවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලයනල් බෙන්තරගේ යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

පැමිණි ආරාධිතයන් පිළිගැනීම ‘maa Product සමාගමේ සභාපති මුදිත සමනක්කොඩි මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *