2026 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිසුන්ට මෙන්ම පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිහි සිසුන්ට අවශ්‍ය සමස්ත නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීම නිල වශයෙන් අවසන් කර තිබේ. මෙයට අදාළ සහතික පත්‍ර හුවමාරුව අද (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සිදු විය.
මෙම ප්‍රදානය යටතේ රෙදි මීටර් මිලියන 11.484ක් ලැබී ඇති අතර එමගින් මිලියන 4.4කට අධික සිසුන් පිරිසකට ප්‍රතිලාභ හිමි වේ. චීන රජය විසින් අඛණ්ඩව වසර 4ක සිට මෙම නිල ඇඳුම් ප්‍රදානය සිදු කරනු ලබයි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පාසල් නිල ඇඳුමක් යනු හුදෙක් ඇඳුමක් පමණක් නොව එය දරුවන්ගේ ගෞරවය සහ සමානාත්මතාවය පිළිබඳ සංකේතයක් බවයි. මෙම ප්‍රදානය කිසිදු කාල ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට සහය වූ චීන තානාපති කාර්යාලයට සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට ඇය සිය ස්තූතිය පුද කළාය. චීන තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ නිල ඇඳුම්වලට අමතරව ඩිජිටල් යටිතල පහසුකම් සහ ශිෂ්‍යත්ව මගින් ද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහය ලබා දෙන බවයි.













