ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (CRPD) අදාළව ශ්‍රී ලංකාවේ මූලික වාර්තාව සමාලෝචනය කිරීමේ විශේෂ අන්තර් අමාත්‍යාංශ සැසියක් සාර්ථකව පවත්වා තිබේ.
එළඹෙන අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ නිල සමාලෝචන සැසිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ව සූදානම් වීම මෙම සාකච්ඡාවේ මූලිකම අරමුණ විය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය, ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සැසිය පැවැත්වුණු අතර, ඒ සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද සක්‍රීයව සම්බන්ධ විය.
මෙම අන්තර් අමාත්‍යාංශ සැසියේදී ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු වූ අතර, ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ජාතික මට්ටමේ අන්තර්-ආයතනික සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අදාළ දත්ත සහ තොරතුරු කඩිනමින් යාවත්කාලීන කිරීම (Data Updating), ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින දේශීය සංවිධාන මෙන්ම සිවිල් සංවිධාන (NGOs) සමඟ වඩාත් අර්ථාන්විත සහ විනිවිදභාවයකින් යුත් උපදේශන මාලාවක් පැවැත්වීම මින් ප්‍රධාන වේ. මෙමඟින් මෙරට ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරයි.
















