පසුගිය දශකය පුරා අඛණ්ඩව ඇදී එන අවිධිමත් සංක්‍රමණිකයන්ගේ (Irregular Migrants) දැඩි ආගමනය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් (Canary Islands) වෙත ශුද්ධෝත්තම ලියෝ XIV (Pope Leo XIV) පාප් වහන්සේ සිදු කිරීමට නියමිත ඓතිහාසික සංචාරය, එලෙස පැමිණෙන සංක්‍රමණිකයන්ට මානුෂීය ලෙස සැලකීමේ වැදගත්කම කෙරෙහි සමස්ත ලෝක අවධානය යොමු කරවනු ඇති බව දේශීය කතෝලික නායකයෝ පවසති.
පාප් වහන්සේ නමක කැනරි දූපත් සමූහය වෙත සිදු කරන ප්‍රථම අපෝස්තලික සංචාරය මෙය වන අතර, එය එළඹෙන බ්‍රහස්පතින්දා (11) ආරම්භ වීමට නියමිතය. එහිදී උන්වහන්සේ ග්‍රෑන්ඩ් කැනරියා (Gran Canaria) හි පිහිටි ආගුයිනෙගුයින් (Arguineguin) වරාය වෙත වැඩම කිරීමට නියමිතය. මීට පෙර 2020 වසරේදී මෙම වරාය පරිශ්‍රයේ සංක්‍රමණිකයන් 1,000කට අධික පිරිසක් සිරවී, දහස් ගණනක් එළිමහනේ රාත්‍රිය ගත කරමින් සිටි අවස්ථාවේදී, එහි පවතින “අමානුෂීය තත්ත්වය” (Subhuman conditions) දේශීය නගරාධිපතිවරයෙකුගේ දැඩි දෝෂදර්ශනයට ද ලක්ව තිබුණි.
අනතුරුව එළඹෙන සිකුරාදා (12) දින ලියෝ පාප් වහන්සේ ටෙනරීෆ් (Tenerife) හි පිහිටි සංක්‍රමණික මධ්‍යස්ථානයක් වෙත වැඩම කිරීමට නියමිත අතර, එහිදී අප්‍රිකානු කලාපයේ සිට අතිශය අනතුරුදායක මුහුදු සංචාර ඔස්සේ මෙන්ම ලතින් ඇමෙරිකානු රටවල සිට මෙහි පැමිණි සංක්‍රමණිකයන් 1,000කට අධික පිරිසක් සමඟ සෘජුව සුහද හමුවකට ද එක්වනු ඇත.
මෙම සුවිශේෂී සංචාරය පිළිබඳව දේශීය පුවත්පතක් වෙත අදහස් දක්වමින් කැනරි දූපත්හි ජෝස් මැසියුලෝස් (Jose Mazuelos) රදගුරුතුමා ප්‍රකාශ කර සිටියේ, පාප් වහන්සේගේ මෙම ආගමනයත් සමඟ එදා පැවති “ලැජ්ජාවේ වරාය”, මින් ඉදිරියට “බලාපොරොත්තුවේ වරාය” බවට පරිවර්තනය වනු ඇති බවයි. එසේම අත්ලාන්තික් සාගරය ඔස්සේ සිදුවන මෙම අනතුරුදායක සංක්‍රමණික ගමන් බිමන් අවසන් කිරීමටත්, සංක්‍රමණිකයන් කෙරෙහි වඩාත් මානුෂීය සහ පුළුල් ප්‍රවේශයක් සහතික කිරීමටත්, යුරෝපා සංගමය මේ වෙනුවෙන් වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමටත් පාප් වහන්සේගේ මෙම සංචාරය මහෝපකාරී වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද රදගුරුතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
















