මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීම අරමුණු කරගනිමින්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.
රජයේ සෘජු මැදිහත්වීම මත සිදුකරන ලද මෙම මිල සංශෝධනය හෙට (10) දින සිට දිවයින පුරා පිහිටි සියලුම සතොස ශාඛා මඟින් ක්‍රියාත්මක වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරයි.
මෙලෙස මිල අඩු කරන ලද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 18 අතරට ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු දෛනික පාරිභෝජන භාණ්ඩ රැසක් ඇතුළත් වන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පියවර හරහා වත්මන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවන වියදම් බරින් පීඩිතව සිටින පොදු මහජනතාවට විශාල සහනයක් සැලසෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
















