27 April 2024
#දේශීය

ඇල්පිටිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සාමකාමීයි – පැෆ්රල් සංවිධානය

2018 පෙබරවාරි 10 වන දින පවත්වන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමුවීම හේතුවෙන් අත්හිටවන ලද ඇල්පිටිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද දින (11) සාමකාමීව නිමාවට පත් වු බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සළසා තිබූ අතර, 53, 384 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි බවයි. එසේම මෙම ඡන්ද විමසීමේදී කොට්ඨාස 17 ක් වෙනුවෙන් සහ දෙවන ලැයිස්තුවෙන් සභිකධූර 28 ක් සඳහා මහජන නියෝජිතයන් තෝරා ගැනීමට නියමිතය.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කලකට පසු ඡන්ද පොළේදීම ඡන්ද ගණනය කිරීමේ ක්‍රියාවලියෙහි අත්දැකීම් විඳින්නට ශ්‍රී ලාංකික ඡන්දදායකයාට හිමිවූ අවස්ථාව මෙවර ඇල්පිටිය ජනතාවට හිමිවීම සුවිශේෂී ලක්ෂණයක් බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

මෙම ඡන්ද විමසීමේදී බරපතල ගණයේ සිදුවීම් කිසිවක් වාර්තා නොවූ අතර,පූජගල්ලෙන ශ්‍රී රතනසිරි විහාරස්ථානයේ ධර්ම ශාලාව ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද දායකනින් ප්‍රවාහනය කිරීම, ඡන්ද මධ්‍යස්ථාන අවට මාර්ගයේ කුඩා තුණ්ඩු කැබැලි විසිරුවා හැර තිබීම මෙන්ම සමහර ප්‍රදේශවල පෝස්ටර් ඉවත් නොකිරීම වැනි ප්‍රතිඵලයට ඍජු බලපෑමක් ඇති නොවන ඉතාම සුළු සිද්ධි කිහිපයක් පමණක් වාර්තා වු බව හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

විශේෂයෙන්ම මෙහිදී ගාල්ල තේරීම්භාර නිලධාරී, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සහ ඇල්පිටිය පොලිස් අධිකාරීවරයා මුල් අවස්ථාවේ සිටම නිදහස් හා සාමකාමී මැතිවරණයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට දක්වන ලද දායකත්වය පැසසිය යුතු බව පැෆ්රල් සංවිධානය කියා සිටියේය.

ප්‍රාදේශීය දේශපාලඥයින් ද ගැටුම්කාරී තත්ත්වයකට නොයා යම් ශික්ෂණයකින් යුතුව මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදීම දියුණු දේශපාලන සංස්කෘතික ලක්ෂණයක් බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇති බව පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *